dunhinda.com

Sunday, May 19, 2013

Human Rights Commission of Sri Lanka

Location:

Badulla regional office is located in Badulla district in the Uva Province of Sri Lanka.

Administrative Area:

Badulla Regional office covers Badulla and Moneragalle Districts. The entire land area of the Badulla district is 2,861 km². 15 divisional secretariats and 568 Grama Niladhari divisions are in the district. Moneragala District land area of 7,133 km².11 divisional secretariats and 319 Grama Niladhari divisions are in the district.

Population and Distribution:

DistrictPopulation DistributionTotal
SinhaleseSri Lankan MoorsSri Lankan TamilsIndian TamilsOther
Badulla56475238798295421435353376779983
Moneragala375691780057547493637397375


Other Details:

Number of Police stations: 27 (Badulla – 14 and Moneragala – 13)

Prison: 02 (Badulla – 01 and Moneragala – 01)

Other Custodial Institutions:01( Special center for Young offenders)

Children Home/ Correctional Centers: 24 (Badulla – 18 and Moneragala – 05)

Home for disable children: 01 (Moneragala)

Reports:

Monthly Complaint Details

Monthly Visits

Monthly Promotional Activities

For further clarification contact:


The Regional Coordinator

No.19/Ib, Badulupitiya Road, Badulla

Telephone/ Fax : 055-2223030

Email : hrcbadulla@sltnet.lk


Source : http://hrcsl.lk/english/?page_id=852

තවලම් යුගයේ ගමක් මොණරාගල


මොණරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුගොල්ල ගමේ පවුල් 50ක පමණ පිරිසක තවමත් සිය ප්‍රධාන නිශ්පාදනය වන කෙසෙල් කිට්ටුම නගරය වන වැල්ලවායට රැගෙන යනුයේ ගොන් තවලමිනි.

කිලෝ 50ක් බරට රැගෙන යන තවලම් 20ක් පමණ ගමේ ඇත.
ගමට සැතපුම් පහක් පමණ යා යුත්තේ පයිනි.

2013 ජනවාරි මස 14 13:59:42 | අයි ඉන්දික
ලංකාදීප



බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දළ විශ්ලේෂණය


බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය

විසිදහස් රට යනුවෙන් හැදින්වුනු ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාණ පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන ස්ථාන රාශියක් විසිරි පැතිරි තිබේ. බුදුන්ගේ පා පහස ලැබීමෙන් පරම පූජනීයත්වයට පත් සිද්ධස්ථාන 3 ක් බදුළු දිසාවේ පිහිටීම නිසා  ශාසනික ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් හොබවන පෙදෙසෙකි බදුළු දිසාව.



බදුළු දිස්ත්‍රික්කයේ පෞරාණිකත්වය ‍‍ෛඑතිහාසික යුගය ඉක්මවා ප්‍රාග් ‍ඓතිහාසික යුගය දක්වා දිවයන හෙයින් එම ප්‍රදේශය ජනාවාස වී ඇත්තේ මීට අවුරුදු විසි තිස් දහසකට පෙර බව පැහැදිලිය. බුදු හිමියන්ගේ පාද ස්පර්ෂයෙන් පාරිශුද්ධ වු මහියංගනය හා මුතියංගනය බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබීම එහි ශ්‍රේෂ්ඨත්වයට හේතු වේ. දිස්ත්‍රික්කයෙන් ලැබෙන ක්‍රිස්තුපූර්ව යුගයට අයත් ශිලාලේඛන එම ප්‍රදේශයේ ආර්ය ජනාවාස ආරම්භ වු වකවානුව පිළිබදවත් බුදු සමයෙහි ව්‍යාප්තිය පිළිබදවත් වැදගත් තොරතුරු රැසක් දක්නට ඇත.

ආර්යන්ගේ පැමිණීමත් සමගම ගංගා ආශ්‍රිතව ජනාවාස එනම් රට අභ්‍යන්තරයේ සිට දස දෙසට ගලා යන ගංගා ආශ්‍රිතව ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය සැකසුනි. ඌව පළාත පිලිබදව අවධානය යොමු කළ හොත් ඌව ප්‍රදේශය හග්ගල කපොල්ලෙන් හමන සුළගින් හූ හඩ පැතිරෙන නිසා මුලදි  හූව පසුව ඌව යන්නෙන් පරිවර්තනය වු බව පත පොතේ සදහන් වේ. ඉංග්‍රීසි පාලන යුගයේදි ඌව පළාත පහල ඌව හා ඉහල ඌව ලෙස වෙන්කොට දක්වන ලදි.

බදුල්ල දිස්ත්‍රික්කයේ බටහිර ප්‍රදේශය අඩි 7000 කට වඩා උස ගිරි ශිඛරයන්ගෙන් යුක්ත වේ. සියළු කදු බෑවුම් ගොරෝසු වලින් ගහන හා විශාල පතන් හා තැනිතලාවන්ගෙන් සමන්විත වේ. පතන් වල එතරම් විශාල නොවු ගස් වැල්ද නිම්න වල ඉතා සරුවට වැටුනු ගස්කොලන් වලින් යුක්ත වී තිබේ. බදුල්ලේ පහල කදුකර ප්‍රදේශයේ ක්‍රි.පූ. සමයේ ජනාවාසව තිබු බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසු ගල් ලෙන් අපට සාක්ෂි දරයි. බෝගොඩ, මැටිගහතැන්න, කන්දේවහාරය උදාහරණ ලෙස දැක්විය හැකිය.

ගස් හෙවනින් යුත් ප්‍රදේශය “වදළ” යනුවෙන් හදුන්වයි. එසේම පෙර කාලයේ මහ වලුලක්ව පැවති නිසා “වදළ වදුල බදුල බදුල්ල” ලෙස අද ව්‍යවහාර වේ. ක්‍රි.පූ. 505 දී පමණ රාක්ෂ ගෝත්‍රික රාවණා රජු බදුල්ල අගනුවර කොට ඌව පාලනය කළ බව සදහන් වේ. එකි කාලය තුළ ඌවේ දියුණුව අති මහත් විය. රාම සීතා කතා පුවතේ එන රජතුමා විසින් ඉන්දියාවේ සීතා කුමරිය රැගෙන විත් සිර කර තබා ගෙන සිටීමත් ඒ සමග එළඹුනු යුද්ධයේදි රාවණා රජු සාහසික ලෙස මිය යා‍මත් නිසා ඌව සශ්‍රිකත්වය අභාවයට පත් විය. ජල දුර්ග, ගිරි දුර්ග, වන දුර්ග ආදියෙන් ස්වභාවයෙන්ම ඌවට ආරක්ෂාව ලැබිණි.



බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දළ විශ්ලේෂණය

ඌව ද්‍රෝණියේ නැගෙනහිර බෑවුමේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. උතුරින් මැදපතන රිදිපාන කදු වැටියෙන්ද නැගෙනහිරින් නෙළුම් ගම කැන්ද ගෙ‍ාල්ල වැලිබිස්ස කදු වැටිවලින්ද දකුණින් ‍එළදළුව කන්දෙන්ද බටහිරින් අළුගොල්ල කදු වැටියෙන්ද වට වී ඇත. බදුල්ල ප්‍රාදේශීය ලේකම් කෙ‍ාට්ඨාශයේ දකුණ උතුර හා ගිණිකොණ දිග ප්‍රදේශවල 60% ට වඩා වැඩි බෑවුම් කලාප දැක ගත හැකිය. බටහිර කොටසේ බෑවුමේ ස්වභාවය 30% ත් 60% ත් අතර වේ. මෙම ප්‍රදේශවල වර්ෂා කාලවලදි නාය යෑම් වලට ලක් වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උසින් වැඩිම ප්‍රදේශය ග්ලේන් ඇල්පින් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත.


බදුල්ල නගරය කේන්ද්‍ර කොට පිහිටි බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිළධාරි වසම් 29 කින් සමන්විත වේ. මුහුදු මට්ටමේ සිට අඩි 2225ක් උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මධ්‍යම කඳුකරයට අයත් භූ විෂමතා ලක්ෂණ වලින් සමන්විත වේ.

කොට්ඨාශයේ වර්ඵලය වර්ග කිලෝමීටර් 52.5ක් වන අතර මුළු ජනගහනය 79,148කි. ජන වර්ගය අනුව සිංහල 54,707ක්ද, ශ්‍රී ලංකා දෙමළ 5004ක්ද, ඉන්දියානු දමිල 11,752ක්ද, මුස්ලිම් 6649ක්ද, බර්ගර් 255ක්ද, මැලේ 360ක්ද වෙනත් 421ක් ද වශයෙන් බෙදා දැක්විය හැක. එක් පුද්ගකයෙකුට හිමිවන භූමි ප්‍රමාණය මීටර් 0.64ක් පමණ වේ.මෙහි ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. මීට අමතරව තේ වගාව, සත්ව පාලනය, හා ස්වයංරැකියා වල නියුතු පිරිසද සැලකිය යුතු ප්‍රමාණයක් සිටි. තවද සමෘද්ධී මුද්දරලාභීන් 3122ක් සිටින අතර ඔවුන් අඩු ආදායම් ලාභීන් ලෙස සැලකේ. බදුල්ල මුතියංගන රජමහා විහාරය, පත්තිනි දේවාලය, බදුල්ල දුම්රිය ස්ථානය, ශුද්ධ වු මාර්ක් දේවස්ථානය හා ලන්දේසි කොටුව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පවතින්නා වු ඓතිහාසික වටිනාකමින් යුක්ත වු ස්ථාන වේ.

Source:

Thursday, April 25, 2013

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යුදගනාව රජමහා විහාරයේ දී


රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට පැවැත්වීමට තීරණය කෙරේ. ඒ අනුව, පනස් හත්වන (57) රාජ්‍ය වෙසක් උත්සවය, මැයි මස 25 වැනි දින මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල යුදගනාව රජමහා විහාරස්ථ පරිශ්‍රයේ දී සිදු කෙරේ. ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම රාජ්‍ය උත්සවය සිදු කිරීමට නියමිතය.


බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක සංවිධානයෙන් මෙම ජාතික උත්සවය පැවැත්වේ.

පනස් හත්වන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ උපදෙස් මත ඉකුත් දා අගමැති කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මැයි මස 24 වැනි දින පාසල් ළමයින් දහසක් සහ වැඩිහිටියන් දෙදහසක් යුදගනාව රජමහා විහාරස්ථානයේ දී සීල සමාදාන වැඩසටහනට එක්කිරීමටද මෙහිදී තීරණය කළේ ය. සීල සමාදානය සඳහා සම්බන්ධ වන සැදැහැවතුන් වෙනුවෙන් අවශ්‍ය දානය, ජලය, සනීපාරක්‍ෂක පහසුකම් ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු සම්පාදනය කොට තිබේ.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩල අතර පැවැත් වූ බැති ගී ගායනා වැඩසටහනින් ජයග්‍රහණය ලැබූ දරු දැරියන්ට මූල්‍යමය ත්‍යාග ද මෙහිදී ලබාදෙයි. වෙසක් පහන් කූඩු තරගාවලියෙන් ජය ලැබූවන්ට ත්‍යාග පිරිනැමීමට තීරණය කොට ඇතැයි පැවැති සාකච්ඡාවේ දී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුත්තල, යුදගනාව රජමහා විහාරස්ථානයේ අංගසම්පූර්ණ පුස්තකාලයක් ඉදිකිරීම, ‘සසුනින් සෙවණ’ ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක බැගින් නිවාස එකොළහක් ඉදිකිරීම, දිස්ත්‍රික් සිසු නිපුණතා තරගාවලියෙන් ප්‍රථම ස්ථාන ලැබූ දරු දැරියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම, වෙසක් මුද්දරයක් සහ සමරු කලාපයක් නිකුත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක බව මෙහිදී අවධාරණය කෙරිණ.

එම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ගෝනදූවේ ගුණානන්ද හිමි, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ආගමික කටයුතු සම්බන්ධිකාරක, අග්‍රහැරේ කශ්‍යප හිමි, මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, බුද්දම නන්දසාර හිමි, යුදගනාව පුරාණ රජමහ විහාර විහාරාධිකාරී, ගල්ටැම්වත්තේ නන්දරතන හිමිවරුද, ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ජයරත්න, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, එම්.කේ.බී. දිසානායක, මහාභාරකාර සරත් සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ආචාර්ය අයි.එච්. කේ. මහානාම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. පතිනාදන් මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


නුවන් කොඩිකාර

Sunday, March 10, 2013

එංගලන්තෙ ඉංජිනේරුවන් මවිත කළ දෙමෝදර ආරුක්කු පාලම හැදු අපේ අප්පුහාමි


කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ එදා මෙදාතුර ලක්ෂ ගණනක මගී පිරිසක් දුම්රියේ ගමන් කරන්නට ඇත. එම මගීන් පමණක් නොව දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර ආරුක්කු 09 පාලම ගැන අසා ඇති අයත් එය ඉදිකළේ එංගලන්ත ජාතික ඉංජිනේරුවන් බවට විශ්වාස කරනු ඇත.



නමුත් මෙම ආරුක්කු 09 දුම්රිය මාර්ග විස්මිත පාලම ඉදිකිරීමට දායක වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණය නොදත් මළපොතේ අකුරක්වත් නොදත් වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ උපන් පී. කේ. අප්පුහාමි නම් ගැමියකු යැයි කීවොත් ඔබ පිළිගන්නවා ද? ඔබ පිළිනොගත්ත ද මෙය ඉරහඳ සේ සත්‍ය කතාවකි.

කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති මෙම උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කර ඇත.

මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ. එම අවස්ථාවේ මේ පී. කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල්වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු 09 න් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත. මෙසේ ආරුක්කු 09 න් යුක්තව ඉදිකර ඇති පාලමේ සාමාන්‍ය උස අඩි 300 ක් බව පැවැසේ.


මෙම පී. කේ. අප්පුහාමි නම් ප්‍රායෝගික දැනුම් සම්භාරයක් හා දක්ෂතා වලින් පිරි ගැමියා දුම්රිය මාර්ගය ඉදිකිරීමට සම්බන්ධව ඇති අයුරු ද ඉතාමත් රසවත් කථාවකි.

තොවිල් පළ නැටුමට හා බෙර වැයීමට ආශාවක් දක්වා ඇති පී. කේ. අප්පුහාමි කළු පහන ප්‍රදේශයේ තොවිල් පළකදී තරගයට නැටීමට ගොස් එයින් පරාදව ලැජ්ජාව ඉවසා ගත නොහැකිව තොවිල් පළෙන් පලා ගොස් ඇත. තොවිල් ඇඳුමින්ම පලා ගිය මෙම පුද්ගලයා රාත්‍රියේ ඔහිය දුම්රිය මාර්ගයට ගොඩ වී ඇත. දෙපයේ බැඳ ඇති ගෙජ්ජි හඬත් තොවිල් පළ ඇඳුමින් සැරසී සිටින අයකු දැකීමෙන් දුම්රිය මාර්ගය ඉදිකරමින් සිටි පිරිස ළන්තෑරුම් එළියෙන් දැක බියට පත්ව ඇත.

තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම එහි සිටි පිරිසට මෙම අය පවසා ඇත. මොහුගේ කථාව දැනගත් දුම්රිය මඟ සැකසීමේ නියැළි සිටි සුදු ජාතික ඉංජිනේරුවරයා තමන් යටතේ දුම්රිය මඟේ වැඩවලට එක්වන ලෙසට දන්වා ඇත. එතැන් සිට ඔහිය සිට බදුල්ල දක්වා වැටි ඇති දුම්රිය මාර්ගයේ බිං ගෙවල් හා දුම්රිය මාර්ගයේ ගලින් බඳින ලද බැමි සැකසීමට පී. කේ. අප්පුහාමි දායක වී ඇතිව, පමණක් නොව සුදු ජාතික ඉංජිනේරුවරයාගේ විශ්වාසවන්තම සේවකයා බවට පත්ව ඇත. පී.කේ. අප්පුහාමි මහතාගේ එම ජීවිත කථාව ඔහුගේ මුනුපුරෙකු වන කැප්පෙටිපොළ කරගහඇල්ල සිරි වෙද මැදුරේ පදිංචි ආර්. එම්. පියතිලක (46) මහතා,

“අපගේ මෙම පී. කේ. අප්පුහාමි සීයාගේ උප්පැන්න සහතිකයේ ඇත්තේ ආර්. එම්. අප්පුහාමි කියායි. දුම්රිය මාර්ගයේ වැඩට එක්වීමෙන් පස්සේ පී. කේ. අප්පුහාමි යන නම සුදු ජාතිකයන් පටබැඳ තිබෙනවා. අන්තිමට අපේ සීයා ජනපි‍්‍රය වුණේ පී. කේ. අප්පුහාමි බාස් නමින් කීවොත් හරි.


අපේ සීයා 1885 දී පමණ ඉපදී තියෙනවා. ඔහු මියගොස් ඇැත්තේ 1951 දියි.

සීයා කිසිදාක පාසල් ගොස් නැති උනත් ගොවිතැන් කටයුතු සිදුකර තිබෙනවා. එසේම ඔහු යාග හෝම පවත්වන තොවිල් පොළවලට ගොස් නැටීමටත් බෙර වාදනය කිරීමටත් පුදුම හැකියාවක් දක්ෂකමක් දක්වා තිබෙනවා.

ඉතින් අපේ සීයා දවසක් කළුපහන ප්‍රදේශයේ තොවිල් පළකට ගොස් රාත්‍රී කාලයේ නටන අතර තරගයට බෙර වාදනය කරමින් අඩව්වක් නටා තියෙනවා. එයින් සීයා පැරදිලා. මෙයින් ලැජ්ජාවට පත් සීයා තොවිල් පළ ඇඳුම පිටින්ම පලා ගොස් තියෙනවා. තොවිල් පළ ඇඳුමින්ම සීයා කැලේ මැදින් ඔහියට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ නානුඔය දුම්රිය පළේ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය සකසන කම්කරුවන් ඔහිය ප්‍රදේශයේ දී හමුවෙලා. තද කළුවරේ ගෙජ්ජී හඬ පතුරවමින් රතු වර්ණ තොවිල් පළ ඇඳුමින් යමෙකු දුටු විට ඕනීම පුද්ගලයකු බය වීම පුදුමයක් නොවේ. ළන්තෑරුම් එළිය ඔස්සේ එහි සිටි මිනිස්සු සීයා දැක හොඳටම බය වෙලා. සීයා ඔවුන් ළඟට ඇවිත් අස්වසා තියෙනවා. සීයා මුහුණ දුන් ගැටලුව ඔවුන්ට විස්තර කර තිබෙනවා.

මෙය දැනගත් දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සුදු ජාතික ඉංජිනේරුවරයා සීයාට ඔහු යටතේ දුම්රිය මාර්ගය සැකසීමට එක්වන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

සීයා ඊට එකඟ වීමත් සමඟම ආර්. එම්. අප්පුහාමි පී. කේ. අප්පුහාමි බාස් බවට පරිවර්තනය වෙනවා.

අපගේ සීයා මළ පොතේ අකුරක්වත් නොදන්නා වුණත් ඔහු අපගේ වැඩිහිටියන් සමඟ දුම්රිය මාර්ගය සැකසීම ගැන විස්තර කථා කර තිබෙනවා. අපේ එදා හිටිය ඉගෙන ගත් වැඩිහිටියන් එම කථාව ඔවුනට හැකි අයුරින් ලියාගෙන තිබෙනවා. එලෙසින් ලියා ඇති කථාවලට අනුව ඇල්ල සිට දෙමෝදර අතර ඉදිකර ඇති ආරුක්කු 09 පාලම ගැන විශේෂයි.

මොකද සීයා සමඟ දුම්රිය මාර්ගය ඉදිකළ සිංහල කම්කරුවන් එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සමඟ එක්ව බිංගෙවල් සකසමින් අනාරක්ෂිත ස්ථාන විශාල කළුගල් බැමි යොදමින් ඉදිකර තිබෙනවා.

මෙසේ මාර්ගය ඉදිකරමින් යන අතරතුර ඇල්ල හා දෙමෝදර අතර කඳු දෙකක් අතර විශාල හිඩැසක් තිබි තියෙනවා. එම හිඩැස විශාල මඩ වගුරක් ලෙසින් පැවති තියෙනවා. එනිසා සුදු ජාතික ඉංජිනේරුවරයා කඳු දෙක යා කරමින් යකඩ පාලමක් ඉදිකිරීමට සැලසුම් කරලා. මෙම යකඩ පාලම එංගලන්තයේ සිට රැගෙන ඇවිත් තියෙනවා. නමුත් පාලම කඳු දෙක යා කිරීමට තරම් දිග මදිවී තිබෙනවා.

පාලම දිගින් අඩුවීම නිසා සුදු ජාතික ඉංජිනේරුවරයා මුහුණ දී ඇත්තේ බරපතළ ගැටලුවකට. මෙයට විසඳුමක් සොයා ගන්න නොහැකිව සුදු ජාතික ඉංජිනේරුවරයා සියදිවි නසා ගන්න තත්ත්වයක් දක්වා ගැටලුව දුරදිග ගිහිල්ලා.

අන්තිමට ඉංජිනේරුවරයා අපේ සීයා ගෙන් අහලා තියෙනවා පී. කේ. බාස් මේකට විසඳුමක් නැද්ද කියා. සීයා කියා තිබෙනවා සේවකයෝ ලබා දෙනවානම් පාලමක් හදන්න පුළුවන් කියලා. සුදු ජාතිකයා මේ ගැන සැක පහල කරලා. සීයා කියා තිබෙනවා මෙම පාලම හදන එකට වැටුප් ගෙවන්න එපා කියලා.

ඉංජිනේරුවරයා සීයාට අවශ්‍ය සේවකයෝ ලබාදීලා. සීයා කඳු දෙක මුදුනේ ඇති කළු ගල් කුට්ටි පිටින් පහතට පෙරළා තියෙනවා. අධික වේගයෙන් කන්ද පහළට පෙරලී එන විශාල ගල් මඩ වගුරේ පතුල දක්වා ගිලා බැහැලා. අන්තිමට කළුගල් වලින් මඩ වගුර පිරී හොඳ ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කර තිබෙනවා. මඩ හා කළුගල් කුට්ටි මිශ්‍ර වීම නිසා සැකසුණු අත්තිවාරම උඩ මෙසේ ආරුක්කු 09 ක් අලංකාර ලෙස ඉදිකර එම පාලම මතින් දුම්රිය රේල් පාර සකසා තිබෙනවා.

දැන් 1913 දී විතර තමයි මෙම පාලම ඉදිකර ඇත්තේ දුම්රිය මාර්ගය ඉදිකළත් සුදු ජාතික ඉංජිනේරුවරයාට දුම්රියක් එහි ධාවනය කිරීමට බයක් දැනී තිබෙනවා. පාලමේ (දුම්රිය මාර්ගයේ) ශක්තිය ගැන සැකයක් ඇති බව ඉංජිනේරුවරයා සීයාට කීයා තිබෙනවා.

සීයා පවසා ඇත්තේ ප්‍රථම දුම්රිය පාලම මතින් ධාවනය වන විට ප්‍රධාන ආරුක්කුව යට තමන් නිදා ගන්නා බවයි. ඒ වගේම දුම්රිය ධාවනය වෙද්දී සීයා සරමක් බිමට අතුරාගෙන නිදාගෙන තිබෙනවා. දුම්රිය පාලම මතින් ධාවනය වීමත් සමඟ ඉංජිනේරුවරයා සීයා බදාගෙන සිය සතුට ප්‍රකාශ කර තියෙනවා. අපගේ මේ සීයා විසින් පාලම ඉදිකරන අවස්ථාවේ අත්උදව් දුන් අයකු දෙමෝදර දුම්රිය පොළ අසල පදිංචිව සිට හමුවුණා. ඔහු සොයාගෙන අපි ගියාම එම ආර්. ඩී. බබානිස් කියන අවුරුදු 99 ක් වයසැති සීයා කියන ලද කථා හා සීයා විසින් පැවසීමෙන් පසු අපේ නැදෑයන් ලියා තිබු කථා අතර 100% ක්ම සමානයි.


මුනුපුරා පියතිලක

අපි එම බබානිස් සීයා හොයාගෙන ගිහින් හඳුන්වා නොදී ආගිය තොරතුරු කථා කළා. අන්තිමට අප රැගෙන ගියා සීයාගේ ඡායාරූපය එම බබානිස් සීයාට පෙන්නුවා. ඔහු කීවේ මේ අපේ පී. කේ. බාස් නේද කියා. ඔහු සතුටු කඳුළු වැගුරුවා. සීයාගේ අභාවය ගැන අසා හැඬුවා.

අපි එම සීයා සමඟ කථා කරන විට දැන ගත්තා දෙමෝදර දුම්රිය ස්ථානය කන්ද මුදුනේ හා ඊට යටින් දුම්රිය මාර්ගය ඉදිවුණේ කොහොම ද කියා.

නානුඔය සිට දෙමෝදර දක්වා උසකින් දුම්රිය මාර්ගය ඉදිකරගෙන එද්දි බදුල්ල සිට දෙමෝදර දක්වා මාර්ගය සකසා ඇත්තේ උස අඩු භූමියක් හරහා බවයි. එනිසා දුම්රිය මාර්ග දෙක අතර විශාල පරතරයක් තිබී තියෙනවා.

එය සම්බන්ධ කිරීමේ ගැටලුවක් මතුවීම විසඳාගෙන ඇත්තේ මී හරක් බලන්නෙකු කෙවිට තම හිස වටේ කරකවන අයුරු ඉංජිනේරුවරයා දැකීම නිසයි. ඒ අනුව කන්ද වටේ දුම්රිය මාර්ගය සකසා මාර්ග දෙක යා කරන ලද බවයි. එම බබානිස් සීයා මේ වන විට ගාල්ලේ ඔහුගේ දරුවන් ළඟට ගොස් ඇති බව දැනගන්න තිබෙනවා.

අපගේ සීයාගේ මැදිහත්වීම මත දෙමෝදර අලංකාර ආරුක්කු 09 පාලම ඉදිවීමෙන් සතුටට පත් ඉංජිනේරුවරයා එම පාලම ඉදිකිරීමට වැඩ කළ කාලයට වැටුප් ලබාදී තියෙනවා. මෙයට අමතරව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව කළ සේවයට සීයාට රිදී කාසි පුරවන ලද මළු 08 ක් තෑගි කර තිබෙනවා. එම මුදලින් කොටසක් වැයකර තම හිතවත් ඉංජිනේරුවරයාට මෝටර් රථයක් මිලදී ගෙන තෑගි කර තිබෙනවා. එසේම එම මෝටර් රථයෙන් උපන්ගම වන පෙල්ලවින්නට පැමිණ එරබද්ද යන ගම්මාන දෙකට අයත් ගැමියන්ට ආහාර වේලක් සමඟ රිදී කාසියක් තෑගි කර තිබෙනවා.

1921 දී සීයා අපි පදිංචි මෙම නිවස ඉදිකර තියෙන්නේ. මෙහි ඇතැම් ස්ථාන දෙමෝදර පාලමේ ආකාරයට ඉදිකර තිබෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ජනේල හා දොර උළුවහු උඩින් බිත්ති දිගටම කළුගල් පතුරක් අතුරා ඒ මත බිත්ති බැඳීම නිසා මෝඩ ගඩොලින් බැඳ ඇති බිත්තිය තුළින් වහලයේ ලී වලට ‘වේයාගේ හානිය සිදුවී නෑ.

සමහරක් අය දෙමෝදර ආරුක්කු 09 දුම්රිය පාලම හැදුවේ සුදු ජාතිකයන් බවට හඳුන්වා දීමට උත්සාහ දැරීම වැරදියි මළපොතේ අකුරක් නොදත් ගමේ පුද්ගලයකු කඳු දෙකක් යා කරමින් නිර්මාණය කළ පාලමක් බව ඔවුන්ට පැවසීමට කැමතියි. ආර්. එම්. පියතිලක මහතා අවසාන වශයෙන් පැවසීය.

ඡායාරූප හා සටහන
ආර්. රාජමන්ත්‍රී වැලිමඩ සමූහ 

Saturday, February 9, 2013

කිසිදු දිය ඇලි ලැයිස්තුවක නැති අප්‍රකට රවන ඇල්ල


දිය ඇලි පිළිබඳ කිසිදු ලැයිස්තුවක හෝ දිය ඇලි හඳුන්වා දෙමින් ලියැවුණ කිසිදු පොතක සඳහන්ව නැති ඉතාමත් අප්‍රකටව පවතින දිය ඇල්ලක් දකින්නට ඇත්නම් එය කොතරම් භාග්‍යයක් ද?

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ සිට මැදවෙල පාර දිගේ කිලෝමීටර් 14 ක් ගමන් කරත්ම, උඩුහාවර නමැති කෘෂිකාර්මික ගම්මානය හමුවෙයි. එහි සිට තවත් කිලෝ මීටර් 1 1/2 ක් දුර ගෙවා කොරදෙකුඹුර නමැති ගම්මානයට පිවිසිය යුතුය.

වැලිමඩ සිට කොරදෙකුඹුර දක්වා වාහන ධාවනයට සුදුසු මාර්ගයක් ඇති අතර එය හෙල - පල්ලම් බහුල දුෂ්කර එකකි. කොරදෙකුඹුර කඩ මණ්ඩියේ සිට කිලෝ මීටරයක් දුරින් දිය ඇල්ල පිහිටා ඇත.



දිය ඇල්ල වෙත යාමට නම් අසල්වැසි ගැමියකුගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍ය වෙයි.

කෙත්වතු යායක් මැද්දෙන්, නියරෙන් - නියරට පනිමින් අඩි පාරක් දිගේ යාමට ඇති ගමන සුන්දරය.

“බරටම වැඩ නේද? මං දිය ඇල්ල බලන්න යනව. මොකද්ද දිය ඇල්ලෙ නම?” ගොවියකුගෙන් මම ඇසීමි.

“ඕක මහත්තයො රවන් ඇල්ල. රාවන ඇල්ල කියලත් කියනව. රැවැන් ඇල්ල, රවැන් ඇල්ල කියන්නෙත් ඕකටමයි” ඇම්. පී. සයිමන් ගොවි මහතා කීවේය.

දුර තියාම දිය ඇල්ල ඇදහැලෙනු පෙනෙයි. එහෙත් එය සමීපයට යාමට නම් තවත් මීටර් දෙතුන් සියයක් වත් යා යුතුය.

මා දැන් රවන් ඇල්ල අබියසය. එය ගල් පව්වක් මුදුනේ සිට එක එල්ලේම කඩා හැළෙන්නේ ජල තටාකයකටය. ගල් පව්ව තනි කෙළින් පිහිටි නිසා ඇල්ල පව්වේ නොගැටී ඇද හැළෙන ආකාරය අපූරුය.

ඒ නිසාම හමන සුළඟ දිය ඇල්ල සමඟ කෙළිලොල් වී ඇත. සුළඟ වැදී දිය ඇල්ලේ පින්න දසත විසුරුවා හරී.

“පුතා දිය ඇල්ල ගැන විස්තර ටිකක් කියන්නකො.” එහි දිය නාමින් සිටි යෞවනයකුගෙන් මම විමසීමි.

“මේ ඔයට කියන්නෙ හල්ඔය කියල. හල් ඔය පටන් ගන්නෙ කූරත්ත කන්දෙනුයි, දතනියගල කන්දෙනුයි. දිය ඇල්ල වැටෙන්නෙ මලකොළ කන්දෙ තියෙන මේ ගල් පව්වෙන්” ඔහු මා සමඟ කීවේය.

රවන ඇල්ල අවට පරිසරය මනස්කාන්තය. දිය දහරාවෙන් පෝෂණය වන කැලෑ රොද කදිම තුරු වියනකි. දිය ඇල්ල කිසිසේත්ම කෙළෙසීමට පත්ව නැත. ප්ලාස්ටික් බෝතල්, සිලිමලු ආදී අපද්‍රව්‍ය කිසිවක් මෙහි නැත.

“දිය ඇල්ල බලන්න පිටින් කවුරුත්ම එන්නෙ නෑ. මේ ගැන පිට අය දන්නෙ නැතුව ඇති.” යෞවනයා කීවේය.

“රවන ඇල්ල” නම පබැඳුණේ කෙසේදැයි මම විමසිලිමත් වීමි.

“දිය ඇල්ල කඩා හැළෙන්නෙ රත්තරන් පුරෝපු තඹ හැළියක් උඩට. හැළිය මෙතන නිදන් කරලයි තියෙන්නෙ. මේ හැළිය සමහරක් දාට දිය මතුපිටට එනව. ඒත් කිසි කෙනකුට ගන්න බෑ. කීප දෙනෙක්ම දැකලත් තියෙනව“ සයිමන් ගොවි මහතා විස්තර කරයි.

“රවන” නම සැදුණේ ඒ නිසාම ද?

“ර” කියන්නෙ රත්තරන්වලට. “වන්” කියන්නෙ “වැනි”. රත්තරන් වගේ දිය දහර කියන අරුතෙන් තමයි රවන් කියන්නෙ.” ඇල්ල පිළිබඳව ඒ අදහස සිල්ලර කඩේ මුදලාලිගේය.

එය නම් ඇත්තක්මය. දිය ඇල්ලට පහළින් ඇති සුවිසල් කෙත් යායම අස්වද්දන්නේ දිය ඇල්ල බෙදාහරින මේ සිසිල් දිය දහරිනි. එබැවින් දිය ඇල්ල රත්තරන් වගේ නොකියා වෙන කුමක් කියන්න ද?

රවන ඇල්ලේ උස නිශ්චිතව පැවසිය නොහැකිය. එහෙත් එය මීටර් 25 ක් පමණ උස වෙතැයි අනුමාන කළ හැකිය.

සටහන හා ඡායාරූපය
සිරිසේන දේවපි‍්‍රය

විශ්ව කර්ම ගුරු උතුමා හෙවත් ආර්. එම්. දයානන්ද රත්නායක විදුහල්පතිතුමා


බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් උඩුවර 7 කනුව ප්‍රදේශයේ වලස්බැද්ද නම් ග්‍රාමයෙහි පිහිටි ඉතා දුශ්කර අඩු පහසුකම් සහිත පාසලක් විය. 1958 වසරෙහි ආර්ම්භ කල උඩුවර සිට කිලෝමීටර් 15 පමන ඉහතින් පිහිටි කදුගැටයක් මුදුනේ පිහිටි මෙම පාසල වසා දැමීම කෙරෙහි බලධාරීන් යොමුවූයේ 1997 වසරෙදීය. වසා දැමීමට ආසන්න මෙම පාසලට ආර්. එම්. දයානන්ද රත්නායක නම් විදුහල්පති තුමා ව පත්කර යවන්නේ කලාප අධ්‍යාපන නිලධාරීන් විසින් එම වසරෙදීමයි. මුල් කාලයේ සෑම දිනකම කිලෝමීටර ගණනක් පයින් ගම්න් කර පාසලට ගිය මෙම විදුහල්පති තුමා පාසල ගොඩගන්නට තම ශක්තිය ජවය කැප කරන්න සූදානම් වුනා. මුල්කාලයේ ගම් වැසියන් විසින් අල්ලාගන තිබූ පාසල් ඉඩම අභියෝග මධ්‍ය යේ ඉන් මුදාගන ගම පුරා ඇවිදිමින් ලමුන් 46 ක් පමණ සොයාගන ලී ඉරන තැන් වලින් ඩෙස් පුටු සකස් කරගන පාසල ගොඩනැංවීමේ කාර්යයට උර දුන් මෙම විදුහල්පතිතුමා පාසලේ පානීය ජල ප්‍රශ්නයට විසදුමක් ලෙස පහත් ස්ථානයකින් කිසිදු තාක්ෂනික උපකරනයක් යොදා නොගනිම්න් ඉහලින් පිහිටි පාසලට වතුර ලබාගැනීමේ නව ක්‍රමයක්ද යොදාගත්තා. මෙම ක්‍රමය සීගිරියේ අතීතයේ යොදාගත් ක්‍රමයට සමාන බවත් මෙය දැක විදේශිකයන් පවා මවිත වූ බවත් ඔහු සදහන් කර තිබුනා.
කෙසේවුවත් විදුහල්පති ආර්. එම්. දයානන්ද රත්නායක මහතාගේ අප්‍රතිහස්ථ ධෛර්ය නිසා වසා දමන්නට තිබූ මෙම පාසල ශ්‍රී ලංකාවේ හොදම පාසලක් බවට පත් කරන්නත් එස් 5 සංකල්පය වෙනුවෙන් 2008 වසරේ ඌව පළාතේ හොදම ඵලදායිතාවය වෙනුවෙන් සම්මාන ලබන්නත් හැකි වුනා. එස් 5 සංකල්පය, පුරාණ ජල තාක්ෂනය, සූර්යු පැනල නිර්මානය වැනි ක්‍රමවේදයන් හදුන්වා දුන් මෙම විදුහල්පති තුමා නිසා අදවනවිට මෙම පාසල ඉතා ඉහල ප්‍රතිඵල පෙන්වන පාසලක් වී හමාරය. 

මෙම පාසල ගැන ජාතික රූපවාහිනියෙන් සකස් කල බැද්දේ ගුරුතරුව නම් කාලීන වැඩසටහන සුමති සම්මාන උලෙලේ සම්මානයටද පාත්‍ර විය.

අද වනවිට විවිධ පාසල් වල සිසුන් විශාල වශයෙන් මෙම පාසල නැරඹීම සදහා පැමිනේ. ආර්. එම්. දයානන්ද රත්නායක වැනි උතුම් මිනිසුන් මෙම සිරිලක් තලයට තව තවත් ඇවැසිය.


ඡායාරූප සහ සටහන සංජීව බණ්ඩාර
තවත් විස්තර - 


Saturday, February 2, 2013

ඌවේ පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ


පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙස බව සමහරු කියති.

ස්ත‍්‍රීපුර උමග

රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ.
එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං පිළිබඳ විවිධ කතිකාවන් පවතී. වඩාත් සුන්දර කතාව ඉතිහාසයට එක්වන්නේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඌවපරණගම පිහිටි ස්ත‍්‍රීපුර කන්දේ උමග තුළ වූ අන්තඃපුරය පිළිබඳවය.
එය එසේ මෙසේ අන්තඃපුරයක් නොව කන්‍යා අන්තඃපුරයක් බව පැවසේ.
වළගම්බා රජුගේ අන්තඃපුරය මෙන්ම මානාභරණ රජුගේ කන්‍යා අන්තඃපුරයද මෙහි තිබූ බව ඌව වංශ කතාව නම්වූ ග‍්‍රන්ථයේ සඳහන්වේ.
මෙම උමග මානාඇල්ල නම්වූ සුන්දර දියඇල්ල දක්වාම විහිදී පැවති බවත් රජතුමා අන්තඃපුර ස්ත‍්‍රීන් සමග මෙම රහස් මගෙන් මානාඇල්ලට ගොස් දියකෙලියේ යෙදුන බවත් කියති.
ඌව ඉතිහාසය රචනා කළ නාවුලේ ධම්මානන්ද හිමියෝ සිය කෘතියේ සඳහන් කර ඇත්තේ රාවණා රජු සීතා දේවිය සඟවා තැබීමටද මෙම උමග ප‍්‍රයෝජනයට ගත් බවට ජන ප‍්‍රවාද ඇති බවයි.
අප එම අන්තඃපුරය සොයා ගිය ගමන විනෝද ජනකය. වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ ලූනුවත්ත දෙසට ගමන් කරනවිට අඩි හාරදහසක් පමණ උසැති ස්ත‍්‍රීපුර කන්ද නෙත ගැටිණ.
වළගම්බා රජු විසින් කරවන ලදැයි සැලකෙන ගනේතැන්න රජමහා විහාරස්ථානය හා බුස්දුල්ල ගම්මානය පසුකළ අප බෝගහමඩිත්ත පාසල අසළට ළඟාවුනෙමු.
එලෙස වාහනයකින් ස්ත‍්‍රීපුර කන්ද පාමුලට පැමිණිය හැකි නමුදු ගමනේ ඉතිරි කොටස යායුත්තේ පාගමනිනි.

පයිනස් වගාව අතරින් තිරුවානා ගල් උඩින් ගමන් කළ යුතුය.

මෙම පොළොව තිරුවානා ගලින්ම නිර්මාණය වී ඇති නිසා ස්ත‍්‍රීපුර ආශ‍්‍රිත ගම්මානය එදා තිරුවානාගම වූයේලූ. එය අද කිරවනාගම ලෙසට ව්‍යාවහාරවේ.
පාගමනින් පසු පොළව යටට යාම සඳහා අඩි 3 ක් පමණ වූ කුහරයකින් උමගට ඇතුල්වූයේ ඉතා අසීරුවෙනි. අඩි 20 ක් පමණ ප‍්‍රපාතයට තිරුවාන ගල් වල එල්ලීමෙන් ගිය ගමන ත‍්‍රාසජනකය.

ඉක්බිති හමුවූයේ ඇවිද යා හැකි ඉසව්වකි. එතැන්සිට දිසා කීපයකට බෙදුනු උමංමග දිස්විය. බටහිර දෙසට විහිදුණු මගෙහි ගමන් කළෙමු. මුලදී හිටගෙන ගමන් කළ හැකි මේ මග ටිකෙන් ටික කුඩා වන බවක් පෙනුණි. දෙකට නැමී එකා පස්සේ ගමන් කළ පසු නැවතත් නිදහසේ හිටගෙන ගමන් කළ හැකි පෙදෙසක් හමුවිය.

එතැන ගල්පොත්ත දිගේ ගලායන සිසිල් දියදහරකි. දියෙන් එගොඩවීම වඩාත් පරෙස්සමෙන් සිදුකළේ ලිස්සන සුළු සෙවල තට්ටු තිරුවානා ගල මත තිබූ බැවිනි.



බෝගොඩ උමග

ඊට පසු එළැඹි බාධකය තරණය කිරීම සඳහා දිගාවී ගමන් කළ යුතුවිය.

කිලෝමීටර් එකහමාරක පමණ දුර අප මේ වන විටත් පැමිණ ඇත. ඒ සඳහා පැය 3 ක පමණ කාලයක් වැයකර තිබිණ. ඉන්පසු හමුවූයේ වවුල් රජ දහනකි.
අප දැල්වූ විදුලි පන්දම් එළියෙන් හා අපේ කටහඬින් කලබල වූ වවුලන් කෑගසමින් ඒ මේ අත ඉගිලෙන්නට වූයේ අප අන්ද මන්ද කරමිනි. වවුලන් ඉගිලී යනතෙක් දෑස වසාගෙන බිම ඉඳගතිමි. නඩයේ අනෙක් ඇත්තන්ද එලෙසම සිටි බව මා දැක්කේ වවුලන් ගේ ශබ්දය වියැකී ගිය සැනින් මා ඇස් ඇර බැලූ බැවිනි.

අපගෙන ගිය විදුලි පන්දම් වල එලිය ඉදිරියට යාම වළක්වමින් තිරුවානා ගල්තට්ටු කඩා වැටී උමං මාර්ගය අවහිර වී තිබිණ.
එතැනින් ඔබ්බට මග නොපෙනී ගියෙන් අපි ආපසු හැරුනෙමු. ඒ තවත් බලාපොරොත්තුවක් ඇතිවය. අන්තඃපුර ස්ත‍්‍රීන් දියකෙලියට ගිය දියඇල්ලට උමං මගෙන් යාම බැරි වුණත් වෙනත් මගකින් එතැනට යාම අපේ අධිෂ්ඨානය විය. ගිය මගෙන්ම උමගින් එළියට ආ අප එලිමහන් මගෙන් මෙම උමගට නුදුරින් ඇති මානාවෙල ඇල්ල සොයා ගියෙමු.

තේවත්තක් මැද පිහිටි මානාවෙල ඇල්ල එකල මහා වෙල්යායක් මැද තිබූ බව දැනගන්නට ලැබුණේ ගම්වැසියෙකුගෙනි.

මේ දියඇල්ල දියවර සපයන්නේ හාල් ඔයෙනි. මානා ඇළ කුඹුරුවලට ජලය ගෙනයන්නේය. අවසාන රජ දවස දක්වාම මෙම වාරික‍්‍රමය මානාව වගාවන්ට ජලය සැපයූ බව එම ස්ථානයේ ගල්පොත්තක කොටා ඇති ලිපියක සඳහන්වේ.

එහෙත් අද වගාකරන බිම් ප‍්‍රමාණය අඩුවී තිබේ. මානාඇල්ල ද්විත්ව ඇල්ලකි. හරියට නිවුන් ලඳුන් දෙදෙනෙක් මෙනි. දියඇල්ල ඇදහැලීමට කලින් ගලින්ම නිර්මාණය වූ ගල්තලාවේම කපා ඔපමට්ටම් කළ ගල් බේසම් දැකිය හැකිය.
අන්තඃපුර ලඳුන් දියනෑවේ මේ ගල්බේසම් වල ලූ.

එම ගල් බේසම් සමූහයට ජලය ගලා එන්නේ ගල් පීලි පද්ධතියකිනි. එම ජලයෙන් බේසම් පුරවා ඉතිරි ජලය පහළට ඇදී යන්නේ දියඇලි නිර්මාණය කරමිනි.
වැලිමඩ සානුවේ අවසාන භාගයෙන් බිමට පනින මේ නිවුන් දියඇලි කොමලියන්ගේ උස අඩි 67 කි. මෙහි ගලක සටහන්වූ දම්වැල් ලකුණු කීපයකි. රාවනා රජුගේ ඇතා බැඳි ස්ථානය එය බව කියති.

බදුලූ දිසාවේ උමං අතරින් ඊළඟට මා සිත් ගත් උමග වූයේ ඇල්ල කරඳගොල්ල උමගයි. එහි ගිය පළමුවැනි මාධ්‍ය කණ්ඩායමද අප වූහ.
කිසිදු පොතක පතක සඳහන් නොවූ මෙම උමග පිළිබඳව අප දැනගත්තේ ගම්වැසියෙකුගෙනි. ඔහු අප සමග කතා කළේ රහසිගතවය.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන්කර කරඳගොල්ලෙන් හැරී කරඳගොල්ල මාර්ගයේ කිලෝමීටර් 2 ක් පමණ ගියපසු හමුවූ කුඩා කඳුගැටයක් නැග ඉන්පසු ගල් පර්වතයක් දිගේ ප‍්‍රපාතයක් දෙසට ගමන් කළෙමු.

කැලෑවෙන් වටවූ දෙබොක්කාවක උමං දොර දක්නට ලැබිණ. එම කුඩා දොරටුවෙන් ඇතුල්වීමට හිස පහත්කරගෙන දෙකට නැමී ගමන් කළ යුතුය. ඉන්පසු හමුවූයේ ගල් පඩිපෙළකි. එය බැස ගිය පසු ඇවිද යා හැකි කොටසකි. කිසිදු ස්වසන අපහසුතාවයකින් තොර මෙම උමං මග තුළ දැනෙන්නේ සිසිලසකි. ඇතැම් ස්ථානවල දැඩි අඳුරක් පවතී. අප රැගෙන ගිය විදුලි පන්දම් එළිය ගමනට ප‍්‍රමාණවත් විය.

යළි හමුවූ කුඩා කවුළුවකින් දිග ඇදී ඇතුල් වූ පසු හමුවූයේ විශාල ඉඩකඩක් සහිත ශාලාවකි. හැට දෙනෙකුට පමණ පහසුවෙන් නැවතී සිටීමට එය ප‍්‍රමාණවත්ය.

ලනුවක ආධාරයෙන් බැසිය යුතු ස්ථානයන් මෙන්ම බඩගගා ඇතුල්විය යුතු දොරටු පසුකරමින් අප පැමිණ තිබුණේ මේ උමගේ සුන්දරතම ඉසව්ව ලෙස සැලකෙන නිල්පැහැති ජලය පිරුණු තටාකය ළඟටය. අධික ශීතලෙන් යුතු මේ ජලකඳ තටාකයට දියපුරවා යළි පහතට ඇදෙන හඬක් ඇසුනද ඉන් ඔබ්බට යාමට අප පින්කර තිබුණේ නැත. එතෙකින් සෑහීමට පත්වී ආපසු හැරුනෙමු.

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යටින් විහිදී තිබුණ උමගක් 1997 දී නිරාවරණය විය. තොරතුරු කන වැකුණ සැනින් අපි එහි ගියෙමු. ගවයන් සොයා ගිය ගම්වැසියෙක් උමං කට මුලින්ම දැක තිබුණේය. උමංකට කුඩා වුවද එතුළින් පහසුවෙන් බසින්නට හැකිවිය. ඉක්බිති හමුවූයේ විශාල උමංගෙයකි. අපි කිලෝමීටරයක් පමණ දුර පහසුවෙන් ඇවිද ගියෙමු. ස්වසන අපහසුව මෙන්ම කීප අතකට විහිදුනු මං සලකුණු නිසා ආපසු හැරුනෙමු.ඉදල්ගස්හින්නේ ඩිංගිරි බණ්ඩා සීයා අපට කීවේ පෘතුගීසීන්ට එරෙහිව සිංහල හමුදාවේ ඒකරාශීවීමට මෙවැනි භූගත ස්ථාන යොදාගෙන තිබූ බවයි.

හාලිඇල බෝගොඩ රජ මහා විහාරස්ථානය ලොව පුරා ප‍්‍රචලිත වී ඇත්තේ එකම ගසක දැවයෙන් සෑදු විස්මිත හා කලාත්මක ලී පාලම රජ දවස මෙහි ඉදිකර තිබීම නිසාය.

එම පාලමට ඉදිරියෙන් ඇති ලෙන් විහාරය වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් වේ. ලෙන් විහාරයට පිටුපසින් උමං දොරක් දැකිය හැකිය. එම උමංදොරින් ඇතුළු වීමට හැකිවුවත් ඉන් ඔබ්බට යන උමං මාර්ගය වැසී තිබේ.

විහාරාධිපති ඇටම්පිටියේ රාහුල හිමියෝ පැවසුවේ නාරංගල කන්දට, මහනුවරට හා බදුලූ කතරගම දේවාලයට යාම සඳහා මෙම උමං මාර්ගය යොදාගත් බවට ජනප‍්‍රවාදයන් පවතින බවයි.

ඇල්ල රාවනා ඇල්ලට ඉහළින් වළගම්බා රජු විසින් කරන ලදැයි සැලකෙන අපූරු ලෙන් විහාරයක් වෙයි. ඒ අසපුවේ හතරැස් අඩි 2000 ක පමණ වන ගල්ගෙයක් දැකිය හැකිය.

එය වළගම්බා රජුගේ වාසස්ථානයක් වූ බවද කියනු ලැබේ. මෙම ස්ථානයේ සිට දෝව රජමහා විහාරස්ථානයට උමං මගක් තිබූ බව කියති. එම ස්ථානයේ උමංකටක් දෝව රජමහා විහාරස්ථානයෙන්ද දැකිය හැකිය.

රාවණා ඇල්ල පිහිටා ඇත්තේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. රාවණා ඇල්ලට නුදුරින් ඇති උමග හඳුන්වන්නේ රාවනා ගුහාව නමිනි. රාම රාවණා මහා සංග‍්‍රාමයේදී රාවණා මෙම ගල්ගෙයි සැඟවී සිටි බවද ජනප‍්‍රවාදයකි.

එම උමගේ මීටර් භාගයක් පමණ ගමන් කළ හැකි නමුත් ඉන් ඔබ්බට යාම අපහසුය.

සොරණාතොට බුදුමුත්තාගල යැයි හඳුන්වනු ලබන පර්වතයේ විශාල ගල් ගෙයක්වෙයි. ඒ හා බැඳුණු උමග ඔස්සේ ගොස් බෝගොඩට මතුවිය හැකි උමං මගක් තිබූ බව කියති.


කරඳගොල්ල උමගේ නිල්දිය තටාකය


සොරණාතොට තල්දෙන සමීපයෙහි පිහිටි ගල් ලෙන් දෙකකි. අඩි සියයක් දිගින් හා අඩි 65 ක් පළලින් ඊටම යාබදව මැද මිදුලක් සහිත අඩි 81 දිගින් හා අඩි 12 ක් පළල අනෙක් ගල්ගේ පිහිටා තිබේ.

සීතාවක රාජසිංහ රජුගේ සංඝ සංහාරය සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙහි සැඟවී සිටි බවට ජනප‍්‍රවාදයකි.

පස්සර බුදම පාමුල පිහිටි බව කියන ඇකිරියේ උමග ඔස්සේ හාලිඇල ඉහළ දොම්පේ සිට හපුගහමුල්ල දක්වා විහිදී තිබේ.
මහියංගණය ගෝණගල කන්දේ උමග තුළ II වැනි රාජසිංහ රජු රහසිගතව වාසය කළ බව කියති.

මීගහකිවුල බිංගේලන්ද ගමේ පිහිටි උමග කුමාරදාස රජතුමා පරිහරණය කළ එකකි. තණමල්විල වල්ලිගුහාව කතරගම දක්වා විහිදෙන බව සැළයි.
පස්සර වැල්ගොල්ලේ උමග ලූනුගලකන්ද දක්වා විහිදෙයි.

හොරදොරෙව්වේ උමග වෙලන්හින්න කඳු බෑවුමේ සිට අලූත්වෙල දක්වා ගමන් ගනී.

ඌව පළාතේ හෙලිදරව් වී ඇති උමග රැසක් කාලයාගේ ඇවෑමයෙන් වැසී යමින් පවතී.

එහෙත් අනාවරණය නොවූ උමංද තිබෙන බවට විශ්වාසයක් පවතී. ඒවා බොහෝමයක් වනගතව ඇත. ඒවා ගවේෂණයකට ලක්වී නැත.
ඌමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති භූමියෙන් භූගත කටක් මතුවිය. එය කිසිසේත්ම ඓතිහාසික පුරාවෘත්ති වලට පසුබිමක් ඇති එකක් නොවන බව පුරාවිද්‍යා බලධාරීහු කියති. කෙසේ හෝ එතුලට යන්නට හෝ සොයා බලන්නට තහනම්ය.




ස්ත‍්‍රීපුර උමග


ඉදල්ගස්හින්න උමග

 කරඳගොල්ල උමගේ ඉහළින් පෙනෙන හුනුගල් තට්ටුව


සටහන හා ඡායාරූප : බදුල්ලේ පාලිත ආරියවංශ
2013 ජනවාරි මස 21 13:00:34 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


රාවණා: රජෙක් වගේම වෙදෙක්


රාවණා රජතුමා පිළිබඳව වන මතවාදය මේ වනවිට සමාජයේ බොහෝ විද්වතුන්ගේ උගතුන්ගේ මෙන්ම ඉතිහාසඥයන්ගේද අවධානයට ලක්ව ඇත. එහෙත් ඔවුනොවුන් අතර මතුවන තර්ක විතර්ක ඔස්සේ පෙනීයන්නේ රවාණ රජු මිත්‍යාවක් හා මිත්‍යාවක් නොවේය  යන්න ප‍්‍රකාශ කරන දෙපිරිසම තම තර්ක  සඳහා පදනම් කරගෙන ඇත්තේ රාමායනය පමණක් වන බවය. එහෙත් රාමායනය වනාහි ඉන්දියානුවන්ගේ  මනදොල පිරවීම සඳහා ආදි ඉන්දියානු සාහිත්‍යකරුවන් විසින් පෝෂණය කරන ලද වීර කාව්‍යයක් පමණක් වන බව පැහැදිලිය. එහෙයින් රාමායනයට රාවණා චරිතාපාදනය ලෙස ගෙන රාවණා රජු  ජීවනමාන කරවීම හෝ රාවණා යනුවෙන් තිරිසනකු හෝ ලංකාවේ සිට නැත යන්න ප‍්‍රකාශ කිරීම බුද්ධිගෝචර නොවේ.


කෙසේ නමුදු රාවණාරජු පිළිබඳව අධ්‍යනය කිරීමට හා ඉතිහාසය ගවේෂණය කිරීමට ජනශ‍්‍රතිය පිළිබඳව අධ්‍යනය කිරීම මෙන්ම හෙළවෙදකම, යන්ත‍්‍රමන්ත‍්‍ර, හෙළ සටන්, හා ජ්‍යොතිශය යන විද්‍යා පිළිබඳව මනාව අධ්‍යනය කළ යුතුය. ඒ මන්දයත් හෙළ වෙදකමතුළ අදටද රාවණා යනු ජීවමාන හෙළ වෙද සක්විත්තෙකි. මේ ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඉතිහාසඥ ආචාර්ය  සුරිය ගුණසේකර සමග කළ සාකච්ඡාවකි.

ප‍්‍රශ්නය : රාවණා රජු පිළිබඳ කතාබහ කරන කොට බොහෝ දෙනෙකුගේ සිත්වල මැවෙන්නෙ හිස් දහයක් ඇති. උඩුරැුවුල සහිත. දළ ඇති. අත් විස්සකින් ආයුධ ගත් විකෘති සත්ත්වයෙක්. මෙය කොයිතරම් දුරට ගැලපෙනවාද යන්න සහ රාවණාරජු අප විසින් දැකිය යුතු වන්නේ කොයි ආකාරයටද යන්න කතා බහ කළ යුතුයි. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුරු:  ඇත්තටම ඔබ ඇහුවෙ කාලීන මෙන්ම වඩාත් හොඳ ප‍්‍රශ්නයක් මේක ඇත්තටම කනගාටු දායක තත්ත්වයක්. ඒ නිසා අපි රාවණා රජුගේ පරම්පරාව ගැන හොඳ අධ්‍යනයකින් කතාබහ පටන් ගමු. රාවණාරජු පුලස්ති පාරම්පරාවට අයත් බව රාමායනය ඇතුළු සංස්කෘත සාහිත්‍යයෙන් පැහැදිලි වනවා. මෙය ලේ \ඥාති පරම්පරාවකට වඩා වෛද්‍ය පරම්පරාවක් බව ආයුර්වේද පොතපතින් ඔප්පු වෙනවා. පුලස්ති  සාමිවරයා අයත්වන්නේ බ‍්‍රහ්මගේ මානස පුතුන් සත්දෙනා අතරටයි. මෙයද ලේ ඥාතීන්ත්වයට වඩා එක් කරන ප‍්‍රබල ගුරුකුලයක් ලෙස හඳුනාගන්න පුළුවන් මේ දරුවන් සත්දෙනා කාර්යයන් ගණනාවකට විශේෂඥතාව දක්වන නිසා එක් ගුරුවරයකුගේ ශිෂ්‍යයන් සත්දෙනා පුතුන් ලෙස සංකේතාත්මකව දක්වා තිබෙනවා. ලෝකය විනාශ වී  ගියවිට නැවත සත්ව වර්ග බිහිකරන මත්ස්‍යයා රැුකගන්නේද මෙම මානස දරුවන් සත්දෙනා බව කියවෙනවා. එය නැවතත් සංකේතවත් කර දක්වන්නේ මිනිසාට අවශ්‍ය සියලූ විද්‍යා හා ශිල්ප කලා මෙම පරපුරින් බිහිකර ඇති බවයි.

පුලස්ති සාමිවරයා තෘණබින්දු සාමිවරයාගේ අසපුවේ සිිටියදී තමාගේ ධ්‍යානයට බාධා කළ කන්‍යාවන්ට ශාපයක් කළා. ඒ තමා ධ්‍යානයෙන් අවධි වී දෑස් විවර කරන විට පළමුවෙන් දුටු තැනැත්තිය ගැබ්ගනීවා යනුවෙන්. මෙම ශාපයට හසුවුණේ තෘණබිංදුගේ දියණි හවිරගුයි. මේ නිසා පුලස්තිට තමා පියා ලෙස පිළිගෙන ඇයට බිරිඳ ලෙස සැලකූ බව රාමායණයේ හා වෙනත් ”පුරාණ” ග‍්‍රන්ථවලද සඳහන් වනවා. මේ විදිහට අතිශෝක්තියෙන් දැක්වුණත් මේ සියලූ දෙනාම ඓතිහාසික පුද්ගලයන්.


 ”අනුරාධපුර” වෙස්සගීරි සෙල්ලිපිවල ත්‍යණබින්දු  (තණචොබග) නාමය සඳහන්  නිසාත්,  පොලොන්නරුව ”පුලස්තිනගර” ලෙස මහාවාංශයේ හඳුන්වා ඇති නිසාත් විශ‍්‍රවස්ගේ (විසව) නාමයද වෙස්සගීරි  ලිපිවල ඇති නිසාත්, පුලස්ති හා විශ‍්‍රවස්ගේ ලංකා සම්භාවය ගැන සැකයක් නැහැ. කතරගම අසල මහින්දපුර මධ්‍යස්ථානය (වැඩහිටිකන්ද) කරගත් සුමාලි  රකුස් රජුගේ දියණිය වූ කෛකාසි කුමරිය විශ‍්‍රාවස්  මුණිකට දාව රාවණා බිහිකිරීමද නිසා පුලස්ති වෛද - සාමි පරම්පරාවේ රාවණාගේ ඓතිහාසික බව පැහැදිලියි.

රාමායණයේ ”රාවණාරජු” නැමති මානසික චිත‍්‍රය නිසාත් හිස් දහයක් සහිතව කඩු මුගුරු අතින් ගත් දකුණු ඉන්දියාවේ දේවාලවල ඇඳ ඇති රකුසු චිත‍්‍රය නිසාත් සාමි - වෛද්‍යවරයකුගේ සැබෑ ස්වරූපය යටපත් වී තිබෙනවා.  මෙනිසා රාවණා නැමති ඒ මහා වෛද්‍ය විශේෂඥයාගේ ස්වභාවය  සිතට ගත් විට මැවී පේන්නේ  මහා පඬිවරයෙක්. එමෙන්ම ප‍්‍රාඥයෙක්.

චරිත  පුර්ණකාවේ සඳහන් ආකාරයට රාවණා රජුගේ පුත‍්‍රයා ”උපේන්ද්‍ර මිණි” නම් වෙයි. ඔහුගේ මධ්‍යස්ථානය හෝ බල ප‍්‍රදේශය ගැන තොරතුරු කිසිවක් දැන ගැනීමට නැහැ. නමුත් ”උපේන්ද්‍රමිණි”ගේ පුතුන් දෙදෙනා වන රවිශෛලාශ හා කේවේයාස්ත ගැන තොරතුරු තිබෙනවා. ඔවුන් දෙදෙනාගේම පාලන මධ්‍යස්ථාන ආශි‍්‍රතව ඔසු උයන් දෙකක් තිබුණු බව මේ ග‍්‍රන්ථයේ සඳහන් වනවා. රවිශෛලාශගේ මධ්‍යස්ථානය වුණේ රකුන්ගිර නොහොත් රිටිගල ආශි‍්‍රත ප‍්‍රදේශයයි. අදත් ”ඖෂධ කන්ද” නැමති ස්ථානයක් රිටිගල කඳුවැටියේ  තිබෙනවා. ඔහු රාවණා වෙද පරපුරේ ඍෂි  - පාලකයකු බව ඉන් සනාථ කරන්න පුළුවන්.

දෙවැනි පුත‍්‍රයා වු කේවේසස්ථ යාපන අර්ධද්වීපයේ කන්කසන්තුරේ ආශි‍්‍රත මධ්‍යස්ථානයක සිට පාලනය කළ අතර ”කේවෙසස්ථ මන්ඨක පදියට” නමින් වර්ගපුර්ණිකාව එය හඳුන්වනවා. උතුරු කොදව්වේ  රාවණා රජු විසින් පිහිටවන ලද ”පදිසර්ගය වන්ඨාල” නම් ඔසු  වනය ආශ‍්‍රය කරගෙන මෙම රාජධානිය පැවතීම නිසා අගනුවරක් මුල්බැස ගැනීම ඔසු උයනක් මුල්කරගෙන සිදුවීමට තරම් වෛද්‍ය කර්මයන් රාවණා පරපුරට වැදගත් වී තිබෙන බවයි.  ඒකෙන් පැහැදිලි වෙන්නේ.

රවි ශෛලාශ කුමරුන්ගේ රකුන්ගිර නොහොත් සත්නානාගිර නොහොත් රිටිගල ආශි‍්‍රත මුල්බැස ගත්තේ ”අරවුදසෝත” නම් ඖෂධ උයන මුල්කරගෙනයි. සත්නානාගිර කියන එකේ තේරුම තමයි ගිරි සතක නායකත්වය කියන එක. ඔසු උයනක් ආශ‍්‍රය කරගෙන පාලන මධ්‍යස්ථාන හා සාමිවරයා පාලකයා වශයෙන් වාසය කිරීම හරියට 11 වැනි සියවසෙන් පසු දළදා වහන්සේ ආශ‍්‍රය කරගෙන ලංකාවේ රජ මාළිගය හා අගනුවර ස්ථාපිතවීම වගෙයි.


ප‍්‍රශ්නය : හොඳයි ඔවුන් සතුව තිබූ ඒ වෛද්‍ය කර්මය පිළිබඳව  පැහැදිලි  කළොත්? දැන් පවතින වෙදකම හා ආදි හෙළ වෙදකම අතර මොනවගේ වෙනසක්ද දකින්න ලැබෙන්නේ?

පිළිතුර : වෛද්‍ය  කර්ම  හැමවිටම ජ්‍යෝතිෂය  හා බැඳී පැවතුණා. අද ජ්‍යෝතිෂය යනුවෙන් මිනිසාට  බලපාන හඳහන බැලීම, නැකැත් සෑදීම ආදි කටයුතු කීපයක් පමණයි අදහස් කෙරෙන්නේ. නමුත් ඊට වඩා  පුළුල් ජ්‍යෝතිෂ විද්‍යාවක් අතීතයේ තිබුණා. හිරු රැස්  වායුගෝලය  හරහා ඒමෙන් පෘථිවිය මතුපිටට ඇතිවන බලපෑම, හිරුගේ රැස් අනෙකුත් ග‍්‍රහලෝකවල පතිත වී පෘථිවියට පරාවාර්තනය වීම නිසා ඇතිවන බලපෑම්, හා ඒවා ශාඛවලට හා සතුන්ට බලපාන ආකාරය  හා  එම ශාඛවල ධාන්‍ය, පලතුරු හා එළවළුද, සතුන්ගේ ක්ෂිරයද මිනිසා ආහාරයට ගත්විට ශරීරයේ ඇතිවන ප‍්‍රතිකි‍්‍රයා දක්වාම විනිවිද දකින්න මේ  විද්‍යාවට හැකියාව  තිබුණා.

මේ සෘජු හිරු කිරණ වගේම පරාවර්තන ග‍්‍රහ කිරණත් මිනිසාට ඇති කරන ශුභ හා අශුභ ගැන සොයා බලා අශුභ තත්ව මගහරවා ගැනීමට ග‍්‍රහ පුජා, බලි පුජා, නැටුම් ගැයුම් (තොවිල්), භේරී වාදන (යක්බෙරය) තුළින් සිදුකෙරුණා.  රාවණා රජුට පෙර මහාබලි රජු විසින් බලියාගය හා ශාන්තිකර්ම  හඳුන්වා දෙන ලද බව නාට්‍යචාර්ය ජේ.ඊ. සේරදමන් විසින් තම පාරම්පරික උගැන්වීම් ඇසුරින් දක්වා තිබෙනවා. මේ සියල්ල මිනිසාගේ නිරෝගි බව හා අපල සපල කර ගැනීම දෙසටයි එල්ල වී තිබුණේ. මිනිසා කියන්නෙ අහස පොළොව මැද තෙරපී ජීවත්වන සත්වයකු වීම නිසා එම අහස පොළව හැදෑරීම ඔහුට වැදගත් වුණා.


ප‍්‍රශ්නය: හොඳයි රාවණා රජතුමා  කළ වෙදකම පිළිබඳව ඇති සාක්‍ෂි හා තොරතුරු මොනවාද?

පිළිතුර : රාවණා රජතුමා නාඩි ශාස්ත‍්‍රයෙන් රෝග මුල්‍ය සෙවීම, ශාඛ වෙදකමින් රෝග සුව කිරීම, කල් තබාගන්නා අර්ක සම්පාදනය, පත්ථ්‍යාපත්ත්‍ය ආහාර මගින් නිරෝගී බල ලබා ගැනීම, වෛද්‍ය ආචාර්ය ධර්ම ආදී අංශයන් හි විශාරදයෙක් බව එතුමා විසින් සම්පාදනය කරන ලද කුමාර තන්ත‍්‍ර, උඞ්සිය තන්ත‍්‍ර, නාඩු ප‍්‍රකාශ, අර්ක ප‍්‍රකාශ, මර්ම විඥානා, විධි වෛද්‍යක ආදී ග‍්‍රන්ථවලින් පැහැදිලියි. නමුත් මේ සියල්ලටම වඩා සුවිශේෂි වන්නේ රස ශාස්ත‍්‍රය  නොහොත් ”රස වෙදකම මගින් කිරීමට පුළුවන් එවායේ න්‍යායන් පමණක් අද අප අතර ශේෂ වී තිබෙනවා.”

ආයුර්වේද ඉතිහාසයේ උගන්වන විදිහට රාවණා රජුගේ කාලය වනතුරු රසදිය ප‍්‍රයෝජනයට ගැනුනේ රත්රන් නිපදවීමට පමණයි. කි‍්‍රස්තු පුර්ව 8 වැනි සියවසේ පමණ විසු නාගර්ජුන ආචාර්යන් විසින් හඳුන්වන පරිදි රන් සෑදීම  සහ ලෝහවල තත්ත්වය උසස් කිරීමට රසදිය යොදාගැනීම ”ලෝහ වේදය” නම් වෙනවා. මේ ගැන ලියැවුණු සංස්කෘති ග‍්‍රන්ථ රැසක් තිබෙනවා. නමුත් පළමුවැනි වරට හා අංග සම්පුර්ණ වශයෙන් රසදිය මිනිස් ශරීරයට මුසුකර ශරීරය බල ගන්වන හා වයසට යාම වළක්වාලන ”දේහවේදය” කි‍්‍රයාත්මක කර තිබෙන්නේද රාවණා වෛද්‍යතුමා විසිනුයි.කුසට ගත් ආහාරය පළමුවෙන්ම ”රස” බවට පත්වන්නේයැයි ආයුර්වේදය උගන්වනවා. ඉන්පසු රක්ත (ලේ), මාංශ, මේද, ඇට, ඇටමිදුළු පෝෂණය කරමින් අවසානයේ ”ශුක‍්‍ර” නිපදවයි. ”රසදිය” නොහොත් ලෝහ ශරීරයට අවශෝෂණය කරන්නේ එම රස අවස්ථාවේදීයි. නමුත් මේ අප දකින ”අමු රසදිය” අවස්ථාව නොවේ. සම්පුර්ණයෙන් හෝ එක්තරා ප‍්‍රමාණයකට නිශ්චල කරන ලද  රසදිය තමයි මේ විදිහට භාවිතා කරන්නේ.


ප‍්‍රශ්නය: නමුත් ”දේහවේදය” ඔය තරම්  බලගතු නම් රාවණා රජතුමා ඔය විද්‍යාව  සොයාගැනීමට කලින්, ඒ වනවිටත් යම් බලගතු දැනුම් සම්භාරයක් භාවිත විය යුතුයි. නැතිනම් රාවණා රජුට මේ වැනි දැනුමක් එක්වර පහළ විය හැකියි. කියන එක් තරමක් පිළිගත නොහැකි නේද?

පිළිතුරු : නැහැ දේහවේදය වැඩිදියුණු කර හපන්කම් කිරීමට රාවණා රජුට පදනම් වුණේ මේ වෙනකොටත් කි‍්‍රයාත්මකව තිබුණු දඬුමොනර සංකල්පය නොහොත් පුෂ්පක රථය සඳහා  පොළොවේ විවිධ  ස්ථරවලින් ලබාගත් ලෝහවර්ග තවත් ලෝහ  සමග මිශ‍්‍රකර හා සංස්කරණය කර සැහැල්ලූ , ශක්තිමත් හා උෂ්ණත්වයට, පීඩනයට ඔරොත්තු දෙන ආකාරයට සකසා තිබීම බව සහේතුකව  නිගමනය කරන්න පුළුවන්. පංච  මහා භූතයන්ගෙන් නිර්මිත ද්‍රව්‍යමය ලෝහය තත්ත්වයෙන් උසස් කළ හැකි නම් ඒ පංච මහා භූතයන්ගෙන්ම නිර්මිත මිනිසාගේ ද්‍රව්‍යමය  ශරීරයද තත්ත්වයෙන් උසස් කළ හැකිවීම තමා උගත් රස ශාස්ත‍්‍රයේ මූලධර්මය බව නාගර්ජුන සඳහන් කර තිබෙනවා.


ආචාර්ය සූරිය ගුණසේකර

ප‍්‍රශ්නය : රස වෙදකම ගැන කතාබහ කිරීමේදී රාවණාරජතුමා යනු සුවිශේසී පුද්ගලයකු නම් ආයුර්වේදයේ දී රාවණා  නාමය පිළිබඳව සුවිශේෂීත්වයකින්  කතාබහකළ යුතුයි නේද?

පිළිතුර : රස වෙදකම  පිළිබඳව පශ්චාත් උපාධි ධාරි එකම විශ්වවිද්‍යාලය කථිකාචාර්ය වෛද්‍යවරිය (දේශීය වෛද්‍ය පීඨය ,කොළඹ විශ්වවිද්‍යාලය) පවසන විදිහට ඇය තම පශ්චාත් උපාධිය සඳහා  බරණැස විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයට ඇතුළත්වු විට කථිකාචාර්ය වරුන්  ඇයගෙන් අසා තිබෙනවා රස වෙදකම උපන් රාවණාගේ රටේ අය රස  වෙදකම හැදෑරීමට උත්තර භාරතයට එන්නේ ඇයි කියලා ඉන්දියානු ආයුර්වේද ක්‍ෂේත‍්‍රයේ රසවෙදකම හා ලංකාව පිළිබඳ හැඟීම එබඳුයි. ඒ අදහස උත්තර භාරතීය ආයුර්වේදය තුළට මිත්‍යාවක් ලෙස හෝ ඇදහිල්ලක් ලෙස ඇතුළු වුණා වන්නට  බැහැ. ඊට ගැඹුරු පදනමක් තිබිය යුතුයි. රාවණා රජතුමා එම දැනුම ලොවට දායාද කිරීම එයට හේතුවයි.


ප‍්‍රශ්නය : හොඳයි ඒ සියල්ල ඇත්තයි හිතමු. මොකක්ද රසදිය නිශ්චල කිරීම කියන්නේ?

පිළිතුර :  රසදිය නිශ්චල කිරීම කියන්නේ එහි ගමන් කිරීමේ වේගය නැති කිරීමයි. රසදිය හැන්දකට ගෙන බිමට දැමුවොත් කුඩා කුඩා බෝල ගණනාවකට කැඞී ඒ ඒ දෙසට  දිව යනවා දැකගන්න පුළුවන්. එයින් විශාල ගුලියක් ගෙන නැවත බිමට දැමුවොත් තවත් කුඩා බෝල ගණනාවකට ඒවා කැඩි කැඞී චලනය වෙයි. තවදුරටත් අංශු නොකැඩෙන තත්ත්වය දක්වා එය සංස්කරණය කරන්න පුළුවන්. රසදියෙන් රන් සෑදීම සඳහා රසදිය සංස්කරණය කිරීමේ විධි 18ක් රස ශාස්ත‍්‍රයේ දක්වා තිබෙනවා. මේ සංස්කරනයන් අවසානයේදී රසදිය නිශ්චලවී රත‍්‍රන් සෑදීමට පුළුවන්. උත්තර භාරතීය ආයුර්වේද ක‍්‍රමය තුළ තවමත් ඉන් අත්හදා බලා ඇත්තේ විධි 8ක් පමණයි. චන්ද්‍රගුප්ත අධිරාජයා සමයේදී චානක්‍ය නොහොත් කෞටිල්‍ය බ‍්‍රාහ්මණයා විසින් ලියන ලද ”අර්ථ ශාස්ත‍්‍රය” නැමති  ග‍්‍රන්ථයෙහිද,”රස සිද්ධ ස්වර්ණ” නොහොත් රසදියෙන් සාදන ලද රත‍්‍රන් ගැනත් එසේ සෑදීම ගැනත් සඳහන් වනවා.

වෛද්‍යකර්මයන් ගැන ප‍්‍රසිද්ධ සාමිවරුන් අතුරින්ද රස ශාස්ත‍්‍රය දැන සිට අය  ඉතා අල්පයි. කි‍්‍රස්තු වර්ෂයෙන් පසු සියවස්වලදී පවා වෙද පවුල් කිහිපයක් පමණක් රස ශාස්ත‍්‍රය උගෙන ඉතා රහසිගතව වනගත ස්ථානවලදී රන් නිපදවීම හා මිනිස්  සිරුරට  හිතකර ඖෂධ වර්ගද නිපදවා තිබෙනවා. රස ශාස්ත‍්‍රයේ මූලධර්ම ලියැවුණු පතපොත හා ඒ දන්නා වෛද්‍යවරුන්ද ලංකාවේ සිටියත් ඒවා අත්හදා බලා නැහැ.  භාරතයේ  සංස්කරණවිධි 8ක්  අත්හදා බලා තිබෙනවා ”රස සිද්ධි පුද්ගලයකු” ලෙස හැඳින්වෙන්නේ රසදිය නිශ්චල කිරීමට දන්නා අයයි.” මර්කරි වෝටෙක්ස් එන්ජින්” නැමති රසදිය ආධාරයෙන් (ඉන්ධන ලෙස) කි‍්‍රයාත්මක වන  යන්ත‍්‍රයක් ඇති ගුවන් යානාවක් නිපදවීමට එක්සත් ජනපදය සමත්වූ බව 1998 දී හෙළිදරව් වී තිබෙනවා. අභ්‍යාවකාශ ගතකරන ලද මර්කරි ෂ , මර්කරි ෂෂ යානා දෙක එබඳු ඒවායි. පැරණි ගුවන්යානා නොහොත් ”විමාන” කි‍්‍රයාත්මක වුණේ රසදිය  යෙදු යන්ත‍්‍ර මගින් බව මහාසෘෂි භාරද්වාජ විසින් රචිත ”වෛමානික ශාස්ත‍්‍ර” නැමති ග‍්‍රන්ථයේ සඳහන් වනවා. මේ නිශ්චල කරන ලද රසදිය බව නිගමනය කළ හැකි නමුත් කුමන අවස්ථාව දක්වා නිශ්චල කළ රසදිය දැයි දැනගැනීමට නැත.


ප‍්‍රශ්නය : ඔබ ඔය කියන ”රස සිද්ධි” පුද්ගලයෙකුට කළ හැකි දේවල් මොනවාද?

පිළිතුර : රස සිද්ධි පුද්ගලයන්ට  සාමාන්‍ය අයට කළ නොහැකි සුවිශේෂි දේ කරන්න පුළුවන්. ඒ රසදිය සිරුරට අවශෝෂණය කරවීම මගින් ලෙඩරෝග නොසෑදෙන පරිදි ඔරොත්තු දීමේ ශක්තිය සිරුරට ලබාගැනීම, ස්වාභාවිකව සිදුවන වයසට යාමේ සීග‍්‍රතාවය අඩුකර තරුණ බවෙන් සිටීම, මියගිය පසුව ශරීරය දියවී වැහැරී යාම වළක්වා දීර්ඝ කාලයක් තබාගැනීම හා ප‍්‍රාණය නොහොත් ”ශක්ති” සිරුරෙන් පිටවී ගිය පසුවද බාහිරව දෘෂ්‍යමාන වන කෙස්, නිය, රැුවුල වැඞීම, හම රැළි ගැසීම වළක්වාලීම, මාංශය එලෙසම පවත්වා ගැනීම ආදි දේ රස විද්‍යාව දන්නා අයකුට කළ හැකියි. මේ සඳහා පිරිය යුතු පිළිවෙත්, පිළිපැදිය යුතු වතාවත්, අනුභව කළ යුතු  ආහාර, ඒ ඒ නැකැත් හා මුහුර්ත අනුව ජපකළ යුතු මන්ත‍්‍ර ආදියත් තිබෙනවා. ඒවා පිළිනොපැද ඉන්ද්‍රජාලමය ස්වරූපයෙන් ශරීරය මියගිය  පසු ආරක්‍ෂා කළ නොහැකියි. ගෝවේහි ඇති ශාන්ත ක්ෂේවියර් (පෘතුගීසි) බව පවසන කෙස්, නිය, රැුවුල වැඩෙන මෘත ශරීරය පෘතුගීසි පූජකවරයකුගේ වීමට නොහැක්කේද මෙම හේතුව නිසයි. රස සිද්ධි පුද්ගලයකු විසින් රසදියවල තත්ත්වය වෙනස් කිරීම ආයුර්වේදයේ හඳුන්වන්නේ ”රසායන” ලෙසටයි. මෙම රසායන කි‍්‍රයාවලිය නිසා ශරීරයට අවශ්‍ය ආකාරයට සිත මෙහෙයවීමට පුළුවන්. බුදු දහමෙහි ඉගැන්වෙන්නේ ඊට විරුද්ධ කි‍්‍රයාව වන සිතට අනුව ශරීරය හැසිරවීමයි. යෝග ව්‍යායාමවලින්ද ශරීරය සිතට අනුව කි‍්‍රයා කරවීමට පුහුණු කරනවා. ධ්‍යාන භාවනාවලින් සිත ”ශක්ති” සමග එකතු කර  මොහොතක් තුළදී විශ්වයට යවා ආපසු ශරීරයට ගෙන්වා ගැනීමට  පුළුවන්. රස විද්‍යාවෙන් කි‍්‍රයාත්මක වන්නේ ඊට විරුද්ධ පාර්ශවය වන ශරීරය බලවත් කිරීමයි. රාවණාරජු දඩබ්බර තද පුද්ගලයකු වූයේ මනසට වඩා ශරීරය බලවත් නිසා විය හැකියි.

රාවණා රජු තමන් දන්නා විද්‍යා ගැන පමණට වඩා ආත්ම විශ්වාසයෙන් යුක්ත වූ බව වාල්මිකී රාමායණයේදී පෙන්නුම්  කරනවා.  එය උඩඟු අහංකාරකම දක්වා  ගමන් කළ බවත් රාමායනය කියවන විට වැටහෙනවා. ඒ වගේම රාවණා රජුගේ නැගණිය වූ ශුපර්ණාකාගේ  නාසය සිඳින ලද ලක්ෂ්මණ නිසාත්, 12000ක් රකුස් ජනතාව ඝාතනය  කිරීම නිසාත්, රාම කුමරු තමන් ළඟට ගෙන්වා ගැනීමට උපායක් ලෙස රාවණා රජු සීතාව පැහැරගෙන ආ බවත් රාමායනය කියවන විට හැඟී යන තවත් කරුණක්. සීතාට කිසිදා අතවරයක් නොකරන ලද බව ඒත්තුගැන්වීම අවශ්‍ය වන විදිහට රාමායනය රචනා වී ඇති බව පැහැදිලියි. සීතා පැහැරගෙන ආවේ රාමකුමරු ලංකාපුරයට ගෙන්වා දඬුවම් ලබාදීමට බව රාමායනය කියවන විට පැහැදිලි වනවා.


ප‍්‍රශ්නය : වාල්මිකීගේ රාමායණයේ දක්වා ඇති පරිදි රාවණා රජුට විවිධ  වෙස් ගැනීමට පුළුවන්. ඊජිත්තුවේ මන්ත‍්‍රකරුවන්ටත් මේ හැකියාව තිබුණු බව පුරාවෘත්තවල දැක්වෙනවා. එංගලන්තයේ ඇති ඉදල්මිට, කොහුමිට ආදියෙහි නැගී යන මායාකාරියන් ගැන දැක්වෙන පුරාවෘත්ත වැනි මේ දේ ඔබ ඔය කියන ලෝහ විද්‍යාවට අනුව තරමක් දුරට යථාර්ථවාදියි නේද?

පිළිතුර : ඔව්. ඔය පුරාවෘත්ත හුදු බොරු බේගල් ලෙස සම්මතයට පැමිණ අවුරුදු දහස් ගණන් පැවතීමට නොහැකිය. ඇතැම්විට  අතිශෝක්ති තිබීමට පුළුවන්. රාවණාගේ ලංකාපුරය ස්වර්ණපුරයක් බවත් තමා විසින් එය විනාශ කරන ලද බවත් හනුමාන් විසින්  රාමකුමරුට දැනුම් දෙනවා. රසදිය  නිශ්චලකළ හැකි අයකුට රන් නිපදවා ස්වර්ණලේපිත පුරයක් ඇතිව  සිටීමටද හැකියාව තිබෙනවා.

ආයුර්වේද ඉතිහාසයේ දැක්වෙන පරිදි විවිධ විෂයන් 10ක් පිළිබඳ විශේෂඥ දැනුමක් (දශවිධ ඥාන) රාවනා රජුට තිබුණා. එනිසාම ඔහු දසීස් රාවණා යැයි සම්මත වුණා. මෙම වචනය (දසීස්)  වරදවා ගෙන ඉන්දියානු කෝවිල්වල හිස් දහසක් හා රකුසු මුහුණු ඇති අත් විස්සක් සහිත සත්වයකු ලෙස රාවණා රජුගේ රූපය නිර්මාණය කර තිබෙනවා. අපේ රටෙත් පුවත්පත්, සඟරාවල හා රූපවාහිනියේ රාවණා රජුට හැඳින්වීම සමඟ ප‍්‍රදර්ශනය කරන්නේ එම බහුභූත රූපයි. එබැවින් හිස් 10ක් හා අත් 20ක් ඇති මනුෂ්‍යයකු ලොව පහළවිය නොහැකි බවට ඇතැම් මහාචාර්යවරු තර්ක ඉදිරිපත් කරමින් රාවණා යනු මිත්‍යාවක් බව ප‍්‍රකාශ කිරීම පුදුමයක් නොවේ. ඒ ඔවුන්  රාවණා රජු හැඳිනගත් ආකාරයයි.


ප‍්‍රශ්නය : රාවණා රජතුමා විසින් රචනා කරන ලද ග‍්‍රන්ථ පිළිබඳවත් පැහැදිලි සාක්‍ෂි තිබෙනවාද?

පිළිතුරු: වෛද්‍ය ශාස්ත‍්‍රය වෙනුවෙන් රාවණා රජතුමා කළ මෙහෙවර ඉමහත්. ඔහු සම්පාදනය කරන ලද ග‍්‍රන්ථ ගණනාවක් තිබෙනවා. රාවණා රජු මිත්‍යාවක් යැයි කීමට රාජකීය ආසියාතික සංගමය විසින්  2010.7.17 වැනි දින විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් රාශියක් සමග මහා සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණා. ඒත් ඒ අය දැනසිටියේ නැහැ. නුගේගොඩ පිහිටි ”මොඩර්න් බුක් කම්පැණි” වෙතින් සිංහලට පරිවර්තනය කරන ලද රාවණා රජුගේ ඇතැම් වෛද්‍ය ග‍්‍රන්ථ මිලදී ගැනීමට තිබුණු බව. මේ තිබෙන්නේ  එවැනි පොත් සහ ඒවායේ තොරතුරු කෙටියෙන්.

අර්ක ප‍්‍රකාශන: විවිධ ශාඛ කොටස්වල එකතු කළ සාරය උණුකර වාෂ්ප වන්නට හැර නැවත එම වාශ්පය සිසිල් කර එකතු කරගෙන  ආරක්‍ෂා කරගන්නා අරිෂ්ඨ ආසව වර්ග නිපදවීමේ ක‍්‍රමය මෙහි විස්තර වනවා. මෙය සම්පාදනය කර ඇත්තේ දෙදෙනකු අතර ඇතිවන සංවාදයක ස්වරූපයෙන්. අර්ක යන්ත‍්‍රය සාදාගන්නා  ආකාරයේ පටන් ශාඛ යුෂ එකතු කර පැසවා වාෂ්ප කර සිසිල්ව එකතු කර ගත් ඖෂධ භාජනවල තැන්පත් කිරීම දක්වා විස්තර එහි අඩංගුව වනවා. ද්‍රව්‍ය, ගුණ, මාත‍්‍රා, යෙදීම් යන ශීර්ෂ යටතේ මෙම කි‍්‍රයාවලියේ වර්ගකිරීම්  දක්වා තිබෙනවා. අර්ක නැමති  පැරණි වචනයම ”ර” යන්න හල් කිරීම වෙනුවට ”ක” යන්න හල් කර ”අරක්” ලෙසට එය ඉංගී‍්‍රසි භාෂාවට බිඳී  තිබෙනවා. එබැවින් සිංහලෙන් එම වචනය ”අරක්කු” ලෙස උච්චාරණය වනවා.
නාඩි ප‍්‍රකාශ : මෙහි අඩංගු වන්නේ හදවතේ ගැස්ම, අතේ මැණික් කටුව අසලදී නහරය ඇඟිලි තුනකින් ස්පර්ශ කරමින් වා, පිත්, සෙම් යන මූල තුන අතරින් රෝග කාරකය විනිශ්චය කිරීම ගැනයි. මෙම වා, පිත්, සෙම් සංකල්පය (තිදෝෂ) ලොවට හඳුන්වා දුන්නේ රාවණා රජුගේ සීයා ලෙස හඳුන්වන පුලස්ති  බව ”සුශ‍්‍රැත” නැමති ආයුර්වේද ග‍්‍රන්ථය සඳහන් කරනවා. එය තවත් ඉදිරියට ගෙන යාම මේ අනුව රාවණා රජු විසින් සිදුකර තිබෙනවා. මුළු ශරීර කි‍්‍රයාකාරිත්වය වා, පිත්, සෙම් යන මූල ස්වභාවයන් දක්වා සරල කර රෝගයට හේතු වූ මූල ස්වභාවය  හැඳින ගැනීමට අවශ්‍ය දැනුම මෙහි දැක්වෙනවා.

 කුමාරතන්ත‍්‍ර : ළමයින්ට හා ළදරුවන්ට වැළඳෙන විවිධ රෝග විග‍්‍රහ කිරීම, ඒවා හැඳින ගැනීම හා ප‍්‍රතිකාර විධි මෙහි ඇතුළත් වෙනවා.  ළදරු අවස්ථාවේදීම ලේ ධාතුව ශක්තිමත් කර රෝග ජයගැනීම සඳහා ළදරුවාට දිය යුතු ඖෂධ වර්ග  විස්තර  කිරීමක්ද එහි තිබෙනවා. එකම රෝගය සඳහා විවිධ  ආකාරයේ  ඖෂධ  සංයෝග කුමාර තන්ත‍්‍රයෙහි ඇතුළත්. මහාචාර්ය ගුණපාල ධර්මසිරි පවසන පරිදි ලංකාවේ ඇති අධික ජෛව විවිධත්වය නිසා මෙසේ එකම රෝගය සඳහා වට්ටෝරු අධික සංඛ්‍යාවක් තිබෙන නමුත් ජෛව විවිධත්වය අඩු උත්තර භාරතයේ එම රෝගය සඳහාම ඇති වට්ටෝරු විවිධත්වය අඩුයි.

 උඞ්ඩිය තන්ත‍්‍රය : රෝගියා  මෝහණයට ලක්කර ඔහුගේම යටිසිත මගින් රෝග විස්තර ලබාගැනීම හා කෙම්, යන්ත‍්‍රමන්ත‍්‍ර, ශාන්තිකර්ම වැනි ගුප්ත විද්‍යාත්මක ක‍්‍රමයන්ද, ජ්‍යොතිෂමය ප‍්‍රතිකාරයන්ද මෙහි ඇතුළත්. මහාචාර්ය ගුණපාල ධර්මසිරිගේ ”වෛද්‍ය ශාස්ත‍්‍රයේ ස්වභාවය”  නම් කෘතියේ මේ පිළිබඳ දීර්ඝ විස්තර දැකිය හැකියි. එමෙන්ම වෛද්‍ය විද්‍යාව සඳහා රාවනා රජුගේ දායකත්වය ගැනද විග‍්‍රහයක්  මෙහි සඳහන් වෙනවා.
 මර්ම විඥාන: මූලික වශයෙන් ”නිල ශාස්ත‍්‍රය” ගැන මෙහි කරුණු සඳහන් වී තිබෙනවා. ශරීරයේ නිල පිහිටි ස්ථානයන් හා ඒවායේ ප‍්‍රබල හා දුබලතා ද එම නිල ස්පර්ශ කිරීමද සම්බන්ධ විස්තරාත්මක දැනුමක් මෙහි අඩංගු වෙලා තියෙනවා. ශරීරයේ මර්ම ස්ථාන යනු මෙසේ ස්පර්ශයෙන් හා තදින් කම්පනය කිරීමෙන් ශරීර කි‍්‍රයාකාරිත්වය අකි‍්‍රය කිරීම හා ප‍්‍රබල කළ හැකි ස්ථාන වනවා.

පාහියන් නැමති සංචාරක චීන භික්ෂුව  ලංකාවේ සිට චීනයට ගෙනගිය ”විදුම් පිළිස්සුම්” ප‍්‍රතිකාර ක‍්‍රම ඇතැම් විට රාවණා යුගයේ සිට ආ ප‍්‍රතිකාර විධීන්  වන්නට පුළුවන්. දැන් එය  ආපසු  ”ඇකියුපංචර්” නමින් චීන සළුපිළි වලින් සරසා නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කිරීමටත් යුද්ධයේදී සතුරන් නොමරා හා තුවාල නොකර මෙල්ල කර ගැනීමටත් යන උභය කාර්යයන් සඳහාම නිල ශාස්ත‍්‍රය උපකාරී වනවා. නිර්වින්දන තොරතුරු නිසා ශල්‍යකර්මයන්ද සිදුකෙරුණු  බව අනුමාන කරන්න පුළුවන්. මොකද දේශීය වෙදකමට ශල්‍ය වෛද්‍ය කර්මත් ඇතුළත්.

 කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පෙන්වා දෙන ආකාරයට දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය තමයි රාවණාරජුගේ යුගය. රෝග වලක්වාගැනීම, රෝග සුවකර ගැනීම, ආයුෂ දීර්ඝ කරගැනීම, නොහොත් ජරාවට පත්වීම ප‍්‍රමාද කිරීම, නිරෝගි  ශක්තිමත් හා ප‍්‍රාඥාවන්ත දරුවන් ලබාගැනීම වගේ ඉහළම සෞඛ්‍ය මට්ටම් කාලයේදී මෙරට තිබුණු බව ඤාණවිමල හිමියන් ප‍්‍රකාශ කරනවා.

 ඒ වගේම පණ්ඩිත විලියම් අල්විස්  කියන වෛද්‍ය විශාරදයන් මේ සඳහා හොඳ කරුනු විග‍්‍රහයක් කර තිබෙනවා. විජයාගමනයට පෙර යුගයේදී මෙරට දියුණු වී තිබුණු විදුම් පිළිස්සුම්  හා ඇදුම ප‍්‍රතිකාර විධි රාවණා යුගයේ ප‍්‍රචලිතව තිබූ බව ඔහු පෙන්වා දෙනවා. විජයට පෙර යුගයේදී වෛද්‍ය ග‍්‍රන්ථ විදිහට අද ඉතිරිවෙලා තිබෙන්නේ සංස්කෘත බසට පරිවර්තනය වූ රාවණාරජුගේ වෛද්‍ය පුස්ථක පමණයි. භාගශර හා අග්නිශර නමින් හඳුන්වන ගිනිමැල් විහිදුවන හර ප‍්‍රහාර පිළිබඳවත් සඳහන් වනවා. මේවා වර්තමාන මල්වෙඩි වැනි අන්තරාය රහිත ගිනිමල් නොවේ. ගිනි අවියකින්  පිටවන ආකාරයේ විනාශකාරී හර ප‍්‍රහාරයක් මේ විදිහට සඳහන් කර තිබෙනවා වෙන්න පුළුවන්.


ප‍්‍රශ්නය: ඔබ ඔය කියන්නේ ”මිසයිල් තාක්ෂණය, බෝම්බ වගේ අවිආයුධ භාවිතා  කළා කියලද? එහෙනම් ඒ ගැන පැහැදිලි සාක්කි තිබෙනවාද?

පිළිතුරු : ඔව්. ළිං හැරීමේදී ලග්ගල වැසියන්ට හමුවී තිබෙනවා. මේ ශර යැයි හිතන්න පුළුවන් යම් යම් සාධක. හරියට ඒවා පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ  හැඩයට සමානයි. ඉදිරි කොටසේ ගිනිමල් ගබඩා කර තිබූ බව හිතන්න පුළුවන්.  මේවා රාවණා යුගයේ අවි විය යුතුයි. එවැනි අවි ඇති සමාජයක තුවාල සඳහාද ප‍්‍රතිකාරද තිබිය යුතුමයි. ලග්ගල, රූමස්සල, සීතාඑළිය, හා හග්ගල  ඇති පැරණි ඔසුඋයන්ද  රාවණා යුගය  දක්වා දිවයනවා. ලග්ගල නොහොත්  ඉලක්කගල රාවණාගේ ජ්‍යොතිෂ විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බව ලග්ගල ගැමියන්ගෙන් අසා දැනගත් බව පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමා පවසා තිබෙනවා.

 බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩමකළ සමකාලීන අවධියේ (කි‍්‍ර.පූ. 6 සියවස) මධ්‍යම කඳුකරයේ  විශාල ඔසු උයනක් තිබුණා යැයි අනුමාන කරන්න පුළුවන්. පුලින්ද, ව්‍යාධ, සබර, මලක්ක, මනුස්ස, උපචරක, වනචරක යනාදි විවිධ නම්වලින් හැඳින්වුණු ආදිවාසී ජනකොටස් මෙම ඔසු උයනේ සේවය ලබාගන්නට ඇති. සමන් දෙවියන්ගේ අඩවියේදී අතරමං වූ ශ්‍රීපාද වන්දනාකරුවන් පළතුරු බහුල වූ වනාන්තරවල දින දෙක  තුන ඇවිද අවසානයේ මාර්ගවලට පැමිණි සැටි විස්තර කරන මහළු උපාසක උපාසිකාවන් අදත් හමුවිය හැකිය.



සතුරන් මහනුවර ආක‍්‍රමණය කළොත් නගරය ගිනි තබා කැලෑවැදී ජීවත්වීමට අවශ්‍ය පළතුරු වනාන්තර වවන ලද්දේ සෙනරත් හා දෙවැනි රාජසිංහ යන සෙංකඩගල රජවරුන් විසිනුයි. 1803 දී නෝත් ආණ්ඩුකාරතුමන් මහනුවර ආක‍්‍රමණය  කළ විට සතුරා පරාජය කිරීමට  මෙම පළතුරු වාන්න්තර  උඩරැටියන්ට මහෝපාකාරී වුණා. මේවා සඳහා ආදර්ශය ලබාගන්නා ලද්දේ මහගිර  (සමණොළගිර) හා රකුන්ගිර (රිටිගල) වැනි ඔසුඵල වනාන්තරවලින් බව කියන්න පුළුවන්.

රාවණා රජුගේ දඬුමොණරය / (චිත‍්‍රය - ආයු ශ්‍රී ලංකා වෙබ් අඩවියෙනි)

මේ සියල්ල අධ්‍යයනය කළ විට ඔබ මුලින් ආහපු ප‍්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබෙනවා. රාවණා රජු සම්පාදනය කළ වෛද්‍ය පුස්ථක තුළින්ම ඒතුමාගේ නිවැරදි පෞර්ෂය අපට හිතාගන්න පුළුවන්. කොහොම වුණත් ඓතිහාසික රාවණා රජු කියන්නේ රාමයාණයෙන් නිරූපිත රාවණා නම් නොවේ.

සටහන හා සාකච්ඡාව
පි‍්‍රයංකර හේරත්ගේ ඉතිහාස ගවේෂකයින්ගේ තරුණ සංවිධානය
2013 ජනවාරි මස 27 14:19:59 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

Search This Blog

Loading...